ප්‍රධාන කඳවුරැ පදක්කම සහ පරිවාර පදක්කම් කලාව ගැනයි

2024 දෙසැම්බර් මස 22 ප.ව. 06:08 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ පදක්කම් ක්‍රමය ලෝකයට හඳුන්වා දුන්නේ බේඩ්න් පවෙල් සාමිතුමාය. බාලදක්ෂයා තුළ වර්ධනය වන යම්කිසි හැකියාවක් වඩාත් හොඳින් කැපී පෙනෙන ලෙස නිල ඇඳුමේ ප්‍රදර්ශනය කිරීමෙන් ඔහු ධෛර්යමත් කිරීම එහි අරමුණයි. එසේ කිරීමෙන් බාලදක්ෂයා තුළ විවිධ විෂයයන් අලුතින් ඉගෙන ගැනීමට කැමැත්තක් ඇතිවෙයි. බාලදක්ෂයින් වයසින් මුහුකුරා යන්නේ විෂය ධාරා කිහිපයක දැනුම් සම්භාරයක් එකතු කරගනිමින්ය. ඒ අතරින් අනාගතයට වැදගත් වන තමන් කැමතිම විෂය ධාරාව වැඩිදුර ප්‍රගුණ කිරීමෙන් ඒ පිළිබඳ විශේෂඥයකු වීමට මග කියාදීම පදක්කම් පිරිනැමීමේ අරමුණයි. එබැවින් බාලදක්ෂ පදක්කම්වල සහ ප්‍රවීණතා පදක්කම් වල වටිනාකම බාලදක්ෂ ආචාර්යවරයා ගැඹුරින් වටහා ගත යුතුව ඇත. කිසිදු අවස්ථාවක බාලදක්ෂ පදක්කම් අනවබෝධයෙන් පිරිනැමීම නොකළ යුතුය. බාලදක්ෂයා පදක්කමක් සඳහා සූදානම් විය යුතු අවම කාලයක් ඇත. එම කාලය තුළ දී එම විෂය නියමාකාරයෙන් අධ්‍යයනය කිරීමට උනන්දු කළ යුතුය. නියම දිනයට පදක්කම් සමත් කිරීමට බාලදක්ෂයින් යොමු කළ යුතුව ඇත. එම ප්‍රමිතිය උල්ලංඝනය කරමින් ප්‍රවීණතා පදක්කම් පිරිනමා ජනාධිපති බාලදක්ෂ සම්මානය සඳහා උනන්දු කිරීම නොකළ යුතුය. 
විවිධ හැඩැති පදක්කම්
බාලදක්ෂ පදක්කම් වලට නියමිත හැඩයක් සහ ප්‍රමිතියක් ඇත. එය නිරන්තරයෙන් ආරක්ෂා කරමින් නිෂ්පාදනය කිරීමේ නිල වගකීම සහ අධිකාරය ඇත්තේ ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයට පමණි. එහෙත් ඔබගේ කැමැත්තට සහ රැචියට පදක්කම් නිර්මාණය සඳහා එකම එක අවස්ථාවක් ලබා දී ඇත. එනම් යම් කිසි වැඩසටහනක්, ක්‍රියාකාරකමක්, දිසා කඳවුරක් කිරීම පදක්කමක් නිර්මාණය කිරීමේ දුර්ලභ අවස්ථාවයි. එවැනි පදක්කමක් නිර්මාණය කිරීමේ දී බාලදක්ෂ ආචාර්යවරයා, දිසා කොමසාරිස්වරයා බාලදක්ෂයින් වෙත උපදෙස් ලබාදිය යුතුය. එවැනි පදක්කමක් නිල ඇඳුමේ දකුණු කමිස සාක්කුවට ඉහළින්, දිසා බාලදක්ෂ පදක්කම අසල පැලඳිය යුතුය. එවැනි පදක්කමක් මාස තුනක කාලයක් පැලඳීමෙන් පසු නිල ඇඳුමින් ඉවත් කළ යුතුය.
පරිවාර පදක්කම් කලාව 
යම් වැඩසටහනක ප්‍රධාන කඳවුරැ පදක්කමට අමතර ව පරිවාර පදක්කම් කිහිපයකින් යුතු පදක්කම් කලාවක් බාලදක්ෂ ලෝකයට හඳුන්වා දුන්නේ ඇමරිකානු බාලදක්ෂ සංගමයයි. බාලදක්ෂ සංගමයට වසර සියයක් පිරීම නිමිත්තෙන් 2010 පැවැත්වූ ජාතික ජම්බෝරියේ දී එම පදක්කම එළිදක්වන ලදී. ඉන් පසු ඇමරිකාවේ ලින්කොන් හෙරිටේජ් කවුන්සලය (2010), මොන් මවුත් කවුන්සලය (2013), ට්‍රාන්ස්ට්ලන්ට් කවුන්සලය (2013), වෙස්ට් චෙස්ටර් පුටිනම් කවුන්සලය (2013), ක්‍රොසරෝඩස් ඔෆ් ඇමරිකා කවුන්සලය, කැතලීනා කවුන්සලය, ග්‍රීන් මවුත් කවුන්සලය (2017), මධ්‍යම ෆ්ලොරිඩා කවුන්සලය (2017), ගාර්ඩන් ස්ටේට් කවුන්සලය (2017) ගත වූ වර්ෂ කිහිපය තුළ පැවැත්වූ ජාතික ජම්බෝරි සඳහා ප්‍රධාන කඳවුරැ පදක්කමට අමතර ව පරිවාර පදක්කම් නිර්මාණය කරන ලදී.
ශ්‍රී ලංකාවේ පරිවාර පදක්කමේ ඉතිහාසය
ශ්‍රී ලංකාවේ බාලදක්ෂ ඉතිහාසය තුළ ප්‍රධාන කඳවුරැ පදක්කමට අමතරව පරිවාර පදක්කම් සහිත කඳවුරැ පදක්කමක් නිර්මාණය වී නැත. එවැනි අවස්ථාවක් වසර 106 කට පසු වාර්තා වන්නේ 2018 වර්ෂයේ පැවැත්වූ කොළඹ බාලදක්ෂ කැම්පෝරියේ දීය. මෙහි දැක්වෙන්නේ ඒ වෙනුවෙන් නිර්මාණය කළ කඳවුරැ පදක්කම ඇතුළු පරිවාර පදක්කම් හයකින් යුතු කඳවුරැ පදක්කමයි. එය කැම්පෝරි සංවිධායක කොමසාරිස් අමිල් අබේසුන්දර මහතාගේ සංකල්පයක් මත නිර්මාණය කෙරිණ.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...