45 වසරක් සමරන ‘විජය’ විජයග්‍රාහී ගමනට සුබ පැතුම්!

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 02:20 - {{hitsCtrl.values.hits}}  

45 වසරක් සමරන ‘විජය’ විජයග්‍රාහී ගමනට සුබ පැතුම්!

ඒ 1980 ජුලි 20 වැනි දිනයි. මෙරට ළමයින්ට කියවන්නට තවත් ළමා පුවත්පතක් එක් වූයේ එදිනය. ඒ විජය ළමා පුවත්පතයි.  1980 ජනවාරි 01 වැනිදා අලුතින් ආරම්භ කරන ලද විජය පුවත්පත් සමාගම විසින් විජය ළමා පුවත්පත ප්‍රකාශයට පත් කිරීම ළමයින් සඳහා කරන ලද මාහැඟි ත්‍යාගයක් බව මා සිහි කරන්නේ විජය ළමා පුවත්පතට අවුරැදු හතළිස් පහක් සපිරෙන මේ මොහොතේය.

ලේක් හවුස් පුවත්පත් සමාගමේ සිට පැමිණි ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදීන්ගේ දායකත්වයෙන් හැඩ ගැන්වුණු පුවත්පත් හතරක් අතරින් එකක් ලෙස විජය පුවත්පත බිහි වූයේ එවකට ජනප්‍රිය ළමා පුවත්පත වූ මිහිර සමඟ තරගයක් ඇති කරමිනි. දශක පහකට ආසන්න කාලයක් ජීව ගුණයෙන් සපිරිව ළමයින් පෝෂණය කරන විජය ළමා පුවත්පතට දායකත්වය ලබා දෙන්නට හැකි වීම ගැන මම මහත් සතුටට පත් වෙමි. එසේම විජය ළමා පුවත්පතේ ආරම්භක කර්තෘ වූ කිත්සිරි සමරනායක ජ්‍යේෂ්ඨ පුවත්පත් කලාවේදියාද අප කෘතගුණ පූර්වකව සිහිපත් කළ යුතුය.

විජයට නම ලැබුණේ මෙහෙමයි

විජය පුවත්පතට නම් තැබීමේ මංගල්ලයද අපූරැ එකකි. විජය පුවත් පත් සමාගමේ සභාපතිවරයා වූයේ රංජිත් විජයවර්ධන මහතාය. ඔහුගේ පියාණන් හෙවත් ලේක් හවුසියේ ආරම්භකයා වූයේ ඩී.ආර්.විජයවර්ධන මහතාණන්ය. ළමා පුවත්පතට %විජය^ යනුවෙන් නම් තැබීමට මා යෝජනා කළ නමුත් එය විජයවර්ධන මහතාගේ නම බැවින් එයට අකැමැත්තක්ද පළ විය. ඒ නිසා මා එයට හේතු වශයෙන් දැක්වූයේ %විජය^ නාමය ගත්තේ විජය කුමාරයාගෙන් යනුවෙනි. අවසානයේදී කෙසේ නමුත් %විජය^ නමින් ළමා පුවත්පත අභිෂේක ලද්දේය. 

^විජය^ නාමය ජනතාව අතර ප්‍රචාරය කිරීමද එකල මහත් අභියෝගයක් විය. එයට හේතුව වූයේ අද මෙන් පරිගණක තාක්ෂණය එකල නොතිබූ නිසාය. ගුවන් විදුලිය, රෑපවාහිනිය යොදා ගනිමින් %විජය^ නාමය ජනගත කරන්නට විවිධ තාක්ෂණික ක්‍රම යොදා ගන්නට අපට එකල සිදු විය.

විජයෙන් දුන් සිතියම

%විජය^ පුවත්පත සමග ලෝක සිතියමක් කොටස් වශයෙන් නිකුත් කිරීම එක් උපාය මාර්ගයක් විය. එක් එක් කලාපයට උචිත පරිදි ලෝක සිතියම කොටස් කර සකස් කරන්නට සිදු වූයේද මටමය. එය ඉතාම අසීරැ කටයුත්තක් වුවත් නිවසේ මේසය මත තබා ගෙන එම සිතියම කොටස් කර සකස් කරන්නට මම සමත් වීමි. ඒ ගැන මගේ සිතේ අද ඇති වන්නේ ආඩම්බරයකි. 

රෑපවාහිනිය මගින් විකාශ කරන ලද වීඩියෝ දැන්වීම අතින් ඇඳ සකස් කරන ලද්දක් විය. වික්‍රම විසින් නිර්මාණය කරන ලද කුරු පිංචි චිත්‍ර කතාව විජය පුවත්පතේ ආකර්ශනයට හේතු විය. රෑපවාහිනී වීඩියෝ දැන්වීමටද එක් කර ගත්තේ එයමය. මං තමා කුරු පිංචි.  මං ඉන්නේ විජය පත්තරේ.  මගේ කතාව චිත්‍රයට නගන්නේ වික්‍රම මාමායි.  මගේ කතාව බලන්න විජය පත්තරය බලන්න යනුවෙන් එදා අයිටීඑන් රෑපවාහිනියෙන් විකාශය වූ වීඩියෝ දැන්වීමට ඇතුලත් විය. එම දැන්වීමද ඉතාම ජනප්‍රිය එකක් විය. එය මෙරට රෑපවාහිනියෙන් විකාශය වූ ප්‍රථම වීඩියෝ දැන්වීමයි. එහි පිටපත ලියන ලද්දේ මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරැ සූරීන් විසිනි.

විජය ළමා පුවත්පත ආරම්භයේ සිට අද දක්වාම ළමයින්ගේ නිර්මාණවලට ඉඩකඩ සලසා දී ඇත. එසේම ළමයින්ගේ සිත් දිනා ගන්නා ආකාරයෙන් පිටු සකස් කරන්නට කර්තෘ කිත්සිරි සමරනායක මහතා සමත් විය. 

චිත්‍ර ශිල්පීන් රැසක්

පිටු 16 පොත් පිංචක් සාදා ගන්නට හැකි ක්‍රියාකාරකමක්ද විජය පුවත්පතට ඇතුළත් කරනු ලැබිණි.  එය ළමයි අතර ඉතා ජනප්‍රිය විය. පී. වික්‍රමනායක, පියල් උදය සමරවීර, දීගොඩ කුමාර හා නොයෙල් ලසන්ත ආදී චිත්‍ර ශිල්පීන්ගේ රුකවරණය %විජය^ පුවත්පතට ලැබිණි. පසු කාලයේදී පියල් උදය සමරවීර මහතා විජය පුවත්පතේ කර්තෘ බවටද පත් විය. විද්‍යා ලේඛකයෙකු වූ තුසිත මලලසේකර මහතාගේ සහායද ආරම්භයේ සිටම %විජය^ පුවත්පතට ලැබිණි.

විජය ළමා පුවත්පත ළමයින්ට ආශිර්වාදයක් විය. සිබිල් වෙත්තසිංහ ශිල්පිනියගේ අලංකාර චිත්‍ර හා කතාද ළමයින්ට මහත් සේ ආකර්ෂණය විය. අවුරැදු හතළිස්පහක ඉතිහාසය තුළ විජය ළමා පුවත්පත කියවා සිය අධ්‍යාපනික ජීවිතය සාර්ථක කර ගෙන අද වන විට සමාජයේ ඉහළින් වැජඹෙන උගතුන් බොහෝය. ඔවුන් අතර ලේඛක, ලේඛිකාවෝද, වෛද්‍යවරැන්ද, ඉංජිනේරැවෝද, මාධ්‍ය වේදීන්ද ආදී විවිධ වෘත්තිකයෝ සිටිති.  පරිපාලන තනතුරැ දරන්නෝද බොහෝය. විදුහල්පතිවරැන්ද, විද්‍යාඥයෝද බොහෝය. එය %විජය% ළමා පුවත්පත විසින් රටට ලබා දුන් දායාදයයි.

පසු ගිය දශක කිහිපය පුරා මෙරට ළමයින්ට දැනුම හා විනෝදය ලබා දුන් පුවත්පත් දෙකකි. ඒ මිහිර හා විජය ළමා පුවත්පත් දෙකයි. එයින් විජය ළමා පුවත්පත විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ 6-10 ශ්‍රේණිවල දරැවන්ය. එම වයස් කාණ්ඩවලට අයත් දරැවෝ %විජය% පුවත්පත එන තුරැ බලා සිටින්නේ මහත් ආසාවෙනි. මෙයට අවුරැදු 45කට පෙර %විජය^ ළමා පුවත්පත ආරම්භ කරන අවස්ථාවේ අප අපේක්ෂා කළ දේ ඉටු වී තිබීම අපගේ සතුටට හේතු වේ. 

විජය ළමා පුවත්පතට අඩ සියවසක් පිරෙන විටද මෙවැනිම සැමරැම් ලිපියක් ලියන්නට මටද අවස්ථාව ලැබේවායි මම පතමි. තවත් බොහෝ කාලයක් ළමයින්ගේ සතුට - විනෝදය හා දැනුම සඳහා සේවය කරන්නට විජය ළමා පුවත්පතට අවස්ථාව ලැබේවා!

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී

පර් සි ජයමාන්න

 

 

 

 

 

 

 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...