කොරියා දේශසීමාවේ ට‍්‍රම්ප්-කිම් හමුවෙති

2024 ඔක්තෝබර් මස 16 ප.ව. 09:55 - {{hitsCtrl.values.hits}}  

‘ජී20’ සමුළුව අවසන් වීමෙන් පසු, පසුගිය 30 වැනිදා දකුණු කොරියාවට පැමිණි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප්, උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ යුද මුක්ත කලාපයේ පිහිටි දෙරටටම පොදු කිජොංයොංග් සාම ගම්මානයේදී උතුරු කොරියා නායක කිම් ජොන් උන් හමුවී අතට අත දී සුහදත්වය වර්ධනය කර ගත්තේය.
ඇමෙරිකා ජනපතිවරයකු උතුරු සහ දකුණු කොරියා දේශසීමාවේ, යුද මුක්ත කලාපයේ දී උතුරු කොරියා නායකයා හමුවුණු පළමු අවස්ථාව මෙයයි. දේශසීමාවේදී එකිනෙකා හමුවී අතටඅත දීමෙන් පසු, දේශසීමාව හරහා උතුරු කොරියාවට අයත් භූමියට පැමිණෙන්නැයි නායක කිම් ජොන් උන්, ට‍්‍රම්ප්ට ඇරැුයුම් කළේය.
ඒ අනුව, කිම් ජොන් උන් ද සමඟ ජනපති ට‍්‍රම්ප් උතුරු කොරියාවට පය තැබුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරයකු උතුරු කොරියාවට පය තැබූ පළමු අවස්ථාව මෙයයි. ‘මේ විදියට ඇමෙරිකන් ජනපතිවරයා හමුවන්න ලැබේවි යැයි මම සිතුවේ නැහැ’ යැයි උතුරු කොරියා නායකයා මාධ්‍ය හමුවේ කියා සිටියේය.
ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප් දේශසීමාවට ගොස් සිටියේ, දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් ද සමඟය. සාම ගම්මානයේ දී කිම් ජොන් උන්ට අතට අත දී ඔහු පිළිගැනීමට දකුණු කොරියා ජනපතිවරයා කටයුතු කළේය.
‘ජී20’ සමුළුව පැවැත් වූයේ ජපානයේ ඔසාකා නුවරය. එහිදී ට‍්‍රම්ප් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟත් දකුණු කොරියා ජනාධිපති මූන් ජේ ඉන් සමඟත් උතුරු කොරියා අර්බුදය ගැන සාකච්ඡුා පැවැත්වීය. සමුළුව අවසන් වී, ජනපති ට‍්‍රම්ප් දකුණු කොරියාවේ සෝල් අගනුවරට පැමිණියේ දකුණු කොරියා ජනාධිපතිවරයා සමඟය.
උතුරු කොරියා නායකයා හමුවීමට ජනපති ට‍්‍රම්ප් කැමැත්ත පළ කළේ ඒ අනුවය. ඒ බව දැනුම් දුන් සැණින් උතුරු කොරියාව ද ඊට කැමැත්ත පළ කළේය.
සාම මාවතකට පිවිස සිටින උතුරු කොරියානු නායක කිම් ජොන් උන් න්‍යෂ්ටික අවිහරණය කටයුතු ආරම්භ කර ඇත. කෙසේ නමුත් එම කටයුතු සම්බන්ධයෙන් ඇමෙරිකාව සෑහීමකට පත් නොවිණි.
පසුගිය පෙබරවාරියේ ට‍්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර දෙවැනි හමුව වියට්නාමයේ හැනොයි නුවරදී පැවැත්විණි. එහිදී උතුරු කොරියාව ඉල්ලා සිටියේ, තමන් න්‍යෂ්ටික අවිහරණ කටයුතු ආරම්භ කර ඇති බැවින්, ඇමෙරිකාව පනවා ඇති සම්බාධක ලිහිල් කරන ලෙසය. ඊට ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප් එකඟ නොවිණි. ඒ අනුව, හැනොයි හමුව අසාර්ථක විය.
හමුව අසාර්ථක වී, සාකච්ඡුා බිඳ වැටුණ ද තමන් පොරොන්දු වූ පරිදි න්‍යෂ්ටික අවිහරණ කටයුතු දිගටම කරගෙන යන බවත් දිගු දුර මිසයිල වැඩසටහන නවතා දැමූ බවත් උතුරු කොරියාව එම අවස්ථාවේදී කියා සිටියේය. මෙම අවස්ථාවට ට‍්‍රම්ප්ගේ දියණිය ඉවන්කාත් ඇගේ සැමියා ජෙරාඞ් කුෂ්නර් ද එක් වී සිටියහ. මොවුන් දෙදෙනා ට‍්‍රම්ප්ගේ උපදේශකවරුන් ලෙස කටයුතු කරති.
30 වැනිදා සවස පැවැත්වුණු හමුවේදී මත ගැටුම් පසෙකලා සාකච්ඡුා පවත්වමින් හොඳහිත වර්ධනය කර ගැනීමටත්, කොරියා අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර කලාපයක් බවට පත් කර ගැනීමටත් සාකච්ඡුා පැවැත්විණි. 
තමන් ට්විටර් පණිවුඩයක් හරහා හමුවන්න කැමැතිබව දැන්වූ අවස්ථාවේදී, කිම් ජොන් උන් එම ආරාධනාව පිළිගැනීමත්, තමා හමුවන්න පැමිණීමත් ගැන තමන් සතුටට පත්වන බව ද ට‍්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය. මාධ්‍යවේදීන් හමුවේ අදහස් දැක්වීමෙන් පසු කිම් ජොන් උන් සහ ට‍්‍රම්ප් දෙදෙනා, දකුණු කොරියා දේශසීමාවේ පිහිටි සම්මන්ත‍්‍රණ ශාලාවට ගොස් තනිවම සාකච්ඡුා පැවැත්වූහ. විනාඩි 55 ක් තිස්සේ පැවැති සාකච්ඡුාවලින් පසු ට‍්‍රම්ප් සහ කිම් කියා සිටියේ මත ගැටුම්වලින් තොරව ඉදිරි සාකච්ඡුා සඳහා දෙපාර්ශ්වයෙන්ම විශේෂ කමිටුවක් පවත් කරන බවය. කොරියානු අර්ධද්වීපය න්‍යෂ්ටික අවිවලින් තොර සාමකාමී තැනක් බවට පත් කිරීමට කැපවී කටයුතු කරන ඇමෙරිකා ජනපති ට‍්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් පසුව පැවැසූ බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ට‍්‍රම්ප් සහ තමන් තෙවැනිවරට හමුවන්න සැලැස්වීම සම්බන්ධයෙන් උතුරු කොරියා නායක කිම් ජොන් උන්, දකුණු කොරියා ජනපති මූන් ජේ ඉන් ට ස්තුති කළේය. දකුණු කොරියා මූන් ජේ ඉන්ගේ නම්‍යශීලී ප‍්‍රතිපත්ති හේතුවෙන් උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර යහපත් සබඳතා පවතී.

ලූසිත ජයමාන්න
රොයිටර්ස් ඇසුරිනි

[caption id="attachment_42274" align="alignleft" width="750"]U.S. President Donald Trump and North Korean leader Kim Jong Un cross over a military demarcation line at the demilitarized zone (DMZ) separating the two Koreas, in Panmunjom, South Korea, June 30, 2019. KCNA via REUTERS ATTENTION EDITORS - THIS IMAGE WAS PROVIDED BY A THIRD PARTY. REUTERS IS UNABLE TO INDEPENDENTLY VERIFY THIS IMAGE. NO THIRD PARTY SALES. SOUTH KOREA OUT. NO COMMERCIAL OR EDITORIAL SALES IN SOUTH KOREA. TPX IMAGES OF THE DAY[/caption]
 

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...