උපෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් 299කට මුල්‍ය ප්‍රදාන

2025 අප්‍රේල් මස 22 පෙ.ව. 03:01 - {{hitsCtrl.values.hits}}  

අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවෙන 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ හඳුන්වා දී ඇති උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව ක්‍රියාවට නංවන පාසල් වෙත  මූල්‍ය ප්‍රදාන ලබාදීමට මේ වනවිට අධ්‍යාපන අමාත්‍යාංශය  පියවර ගෙන තිබේ.

ඒ අනුව, පාසල්වල උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින්, පළමු, දෙවැනි සහ තුන්වැනි අදියර යටතේ මෙම විෂය ධාරාව ක්‍රියාවට නැංවෙන පාසල් 299කට රුපියල් 500,000 ක අවමයකට යටත්ව මෙම මූල්‍ය ප්‍රදාන වාරික වශයෙන් ලබාදීමට කටයුතු යොදා තිබේ. මේ සඳහා රුපියල් මිලියන 158ක මූල්‍ය ප්‍රතිපාදන යොදවා ඇත.

මෙම මූල්‍ය ප්‍රදාන ඵලදායී ලෙස යොදාගතයුතු බවට උපදෙස් ලබාදෙමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 40/2018 චක්‍රලේඛය නිකුත් කර ඇති අතර,  ඒ අනුව  මෙම මූල්‍ය ප්‍රදානය පාසල් සංවර්ධන සමිති ගිණුමට බැර කරනු ලබයි. චක්‍රලේඛ විධිවිධානවලට අනුකූලව නියමිත කාලසීමාව තුළ උපරිම කාර්යක්ෂමතාවයෙන් හා ඵලදායිතාවයෙන් යුතුව වෘත්තීය විෂය ධාරාව ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් මෙම මූල්‍ය ප්‍රදාන යොදවා ගැනීම ඒ ඒ පාසල්වල විදුහල්පතිවරුන්ගේ වගකීම වේ.

වෘත්තීය විෂය ධාරාවට අදාළ විෂය ක්‍රියාකාරකම්, විෂය සමගාමී සහ විෂය පරිබාහිර ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම හා ඉගෙනුම් පරිසර සංවර්ධනය, ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා අවශ්‍ය ක්‍රියාකාරකම් පාසල් මට්ටමින් ඉටුකරලීමට අවැසි තීරණ ගත හැකි පරිදි පාසල බලාත්මක කිරීම මෙම මූල්‍ය ප්‍රදානයේ අරමුණ වේ.

අනාගත වැඩලෝකයට අවශ්‍ය වෘත්තීය හැකියාවන් සහිත මානව සම්පත් පාසල් පද්ධතිය තුළින් බිහිකිරීම වෙනුවෙන් සාමාන්‍ය පෙළ සමත් අසමත්භාවය නොසලකා මෙම වෘත්තීය විෂය ධාරාව හැදෑරීමට සිසුන්ට අවස්ථාව සලසා දී ඇත.

වසර 13ක අධ්‍යාපනයෙන් පසු ජාතික වෘත්තීය සුදුසුකම 4 (NVQ4) සහතිකය සහ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් පිරිනමන වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ උසස් සහතිකය (Advance Certificate in Vocational Education)  පිරිනැමීම ද මෙහි විශේෂත්වයයි.

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...