විභාග කාලසටහන සහ පාසල් වාරසටහන ක්‍රමයෙන් යථාවත් කිරීමට පියවර

2024 සැප්තැම්බර් මස 08 පෙ.ව. 07:17 - {{hitsCtrl.values.hits}}  

වතුපාසල් සඳහා ගුරු සහායක පත්වීම් නුදුරේ දී ම

පාසල් දිවා ආහාර වැඩසටහන සහ පාසල් ළමුන්ට නොමිලේ පාවහන් ලබා දීමේ වැඩසටහන සාර්ථක ව ඉදිරියට

විෂය සමගාමී සහ විෂය බාහිර ක්‍රියාකාරකම් යථා තත්වයට පත් කිරීමට හැකි වුණා 

ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු පිරවීමේ සම්මුඛ පරීක්ෂණ අවසන් අදියරේ

විදුහල්පති පත්වීම් 4672ක් ලබා දුන්නා

පාසල් ළමුන්ට සතිමත්බව අභ්‍යාස කිරීමේ සතිපාසල් වැඩසටහන හඳුන්වා දී එය සාර්ථක ව ඉදිරියට

 විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යන අංශ සඳහා ජාතික පාසල්වලට ගුරුවරුන් 2,000ක්

කොවිඩ් ව්‍යසනයෙන් පසු ගුරු විදුහල්පති වෘත්තීය ක්‍රියාමාර්ග මෙන් ම රටේ පැවති අරගල ද හේතු කොටගෙන 2022 වර්ෂය වන විට සමස්ත රට ම හා අධ්‍යාපන ක්ෂේත්‍රය ද දැඩි පසුබෑමකට ලක් ව තිබූ අතර එම වසරේ ශිෂ්‍යත්ව විභාගය, අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වීම හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම මෙන් ම උත්තර පත්‍ර පරීක්ෂාව සහ ප්‍රතිඵල නිකුත් කිරීම මාස හයකට වඩා ප්‍රමාද වී තිබූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා  පැවසී ය.

 ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද දින පාර්ලිමේන්තුව කල් තැබීමේ විවාදයට එක් වෙමිනි. තමන් 2022 වර්ෂයේ ජූනි මාසයේ අධ්‍යාපන ධුරයේ වැඩ භාරගන්නා අවස්ථාවේ අධ්‍යාපන පද්ධතියේ පැවති අභියෝගයන්ට මුහුණ දෙමින් මේ දක්වා සිදු කරනු ලැබූ වැඩ කොටසත් ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සම්බන්ධයෙනුත් මෙහි දී ඒ මහතා කරුණු පැහැදිලි කළේ ය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එම කාල වකවානුවේ විභාග කාලසටහන් පාසල් වාරසටහන් හා නොගැළපෙන තරමට සිදු ව තිබූ ප්‍රමාදයන් අධ්‍යාපන පද්ධතියට දැඩි බලපෑම් එල්ල කළ බවයි. 2019 වර්ෂයේ සිට ගුරු පුහුණු සැසි නොපවත්වා තිබූ අතර සියලු බඳවාගැනීම් නතර වී තිබූ බවත් ගුරුවරුන් විදුහල්පතිවරුන් ඇතුළු පරිපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනකු එක වර විශ්‍රාම ගැනීම නිසාත් එසේ ම ඒ වන විට පැවති විශ්‍රාම යෑමේ වයස 65 සිට 60 දක්වා සීමා කිරීම නිසාත් පැවති ගුරු හිඟය වඩාත් උග්‍ර අතට හැරුණු බවත් සඳහන් කළ අමාත්‍යවරයා නව බඳවාගැනීම්වලට මුදල් ප්‍රතිපාදන වෙන් ව නොතිබූ පසුබිමක අධ්‍යාපන ක්ෂේත්‍රය ම එම අවස්ථාවේ මහත් අර්බුදයකට මුහුණ පෑ බව ද සඳහන් ‍කළේ ය.

වැටුප් ගෙවීම ද ඉතා දුෂ්කර වූ අතර පෙළපොත්, දිවා ආහාර හා නිල ඇඳුම් ලබා දීමේ යාන්ත්‍රණය ද නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවත් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන සලසා ගැනීමේ ඉදිරි වැඩපිළිවෙළක් නොතිබූ බවත් පැවසී ය. එමෙන් ම පාසල් යාම සඳහා බස් රථවලට මෙන් ම වෑන් රථවලට ඉන්ධන නොතිබූ අතර පොදු ප්‍රවාහනය ද අක්‍රීය ව ඉන්ධන පෝලිම් තිබූ නිසා උත්තර පත්‍ර පරීක්ෂාවට පරීක්ෂකවරුන් ගෙන්වා ගැනීමට නොහැකි වීමෙන් ඒ සියලු කටයුතු අඩපණ වුණු බවත් ඒවාට විසඳුම් සෙවීමට පෞද්ගලික මට්ටමින් පවා මැදිහත් ව ක්‍රියා කළ බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී පැවසී ය.

එසේ ම පැය 14කට වඩා විදුලිය කපා හැර තිබූ පසුබිමක සිසුන්ට මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමයට පවා අධ්‍යාපන කටයුතුවල නියැලීමේ අවකාශය සීමා වූ බව ද පැවසූ අමාත්‍යවරයා මේ නිසා දුරබැහැර සිසුන් ආසන්නයේ පිහිටි පාසල්වලට අනුයුක්ත කිරීමට සිදු වූ නමුත් වසර පහකින් පමණ අලුතින් ඩෙස්පුටු පවා ලබා දී නොතිබූ නිසා එහි දී ද ප්‍රායෝගික ගැටලු මතු වූ බව පැවසී ය. 2019 වසරේ විදුහල්පති විභාග පවත්වා තිබූ නමුත් පත්වීම් ලබා දී නොතිබූ අතර ඒ පත්වීම් ලබා දුන්නේ ද තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වූ පසු ව බවත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ ව කියමින් සිටි කිසිවක් එතෙක් සිදු වී නොතිබූ බවත් ඒ මහතා මෙහි දී පැවසී ය.

වසර දෙකහමාරක කාලයක් තුළ මේ සියලු ගැටලු විසඳීමට මහත් පරිශ්‍රමයකින් ක්‍රියා කළ බව පැවසූ අමාත්‍යවරයා ඒ අනුව ක්‍රමානුකූල ව විභාග කාලසටහන හා පාසල් වාරසටහන යථාවත් කිරීමට කටයුතු කළ බවත් මෙම 2024 වර්ෂයේ උසස්පෙළ විභාග දෙකක් පැවැත්වූ අතර පළමු විභාගයේ ප්‍රතිඵල මාස තුනහමාරක් වැනි කෙටිකලක් තුළ ගිය සතියේ දී නිකුත් කළ බවත් මේ වසරේ අගෝස්තු මස පැවැත්විය යුතු උසස් පෙළ විභාගය ද මේ වසරේ ම නොවැම්බර් මස පවත්වා අවසන් කරන බවත් 2025 වර්ෂය වන විට නියමිත පරිදි අදාළ කාලයේ දි විභාගය පවත්වමින් විභාග කාලසටහන යථා තත්වයට ගෙන ආ හැකි බවත් සඳහන් කළේ ය. එමෙන් ම අපොස සාමාන්‍ය පෙළ විභාගය ද මේ වසරේ අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිත ව තිබී මැයි ජූනි දක්වා කල් ගොස් පැවැත්වූ අතර එහි ප්‍රතිඵල සැප්තැම්බර් වන විට නිකුත් කළ හැකි වන බව ද පැවසූ අමාත්‍යවරයා මේ ආකාරයෙන් එම විභාගය පවත්වා නියමිත කාලයේ විභාග පැවැත්වීම දක්වා විභාග කාලසටහන යථාවත් කළ බවත් පැවසී ය.

2023 හා 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් ද දරුවන්ට ලබා ඇති අතර ඉදිරි වර්ෂයට අදාළ පෙළපොත් සඳහා ද රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවට ඇනවුම භාර දී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා තමන් අධ්‍යාපන අමාත්‍යධුරයට පත් වන අවස්ථාවේ මිලියන එක්දහස් දෙසීයක අයිරාවක් පැවති එම ආයතනය මේ වන විට බිලියන 2.3ක ලාභයක් ලබන බව ද කී ය. පසුගිය 2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් අවශ්‍යතාවෙන් 70%ක් චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබා ගැනීමට ක්‍රියා කළ බවත් මෙම වර්ෂයේ දී එම ප්‍රදානය 80% දක්වා වැඩි කරගැනීමට හැකි වූ බවත් ලබන වසරේ නිල ඇඳුම් ලබාගැනීම වෙනුවෙන් ද ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

පාසල් දරුවන් මිලියනයකට පමණ ලබා දෙමින් පැවති පාසල් දිවා ආහාරය මේ වන විට රජය වෙන් කරන බිලියන 16 සහ වෙනත් පාර්ශ්වවල ද දායකත්වය ලබා ගනිමින් රුපියල් බිලියන 26ක් වැය කරමින් සිසුන් මිලියන 1.7කට ලබා දෙන බවත් ඒ සඳහා සිසුන් 100ට අඩුවෙන් සිටින සියලු ම පාසල්වල සිසුන්ටත් ජාතික පාසල්වල හැර අනෙකුත් පාසල්වල සියලු ප්‍රාථමික අංශවල සිසුන්ටත් වශයෙන් පාසල් 9000කට ආසන්න සංඛ්‍යාවක සිසු සිසුවියන්ට මෙම පාසල් ‍දිවා ආහාරය ලබා දෙන බවත් හෙතෙම පැවසී ය.

පාසල් සිසුවියන් වෙනුවෙන් සනීපාරක්ෂක තුවා ලබා දීමේ වැඩසටහන ද හෙටින් ආරම්භ කර 10 වෙනිදා සිට ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිකිරීම් සඳහා 2022 වර්ෂයේ කිසි දු මූල්‍ය ප්‍රතිපාදනයක් නොතිබූ නමුත් 2023 වර්ෂයේ සිට විවිධ ව්‍යාපෘති හරහා අසීරුතා මැද පාසල්වල අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කාර්යන් සිදු කරගෙන යන බවත් අමාත්‍යවරයා  මෙහි දී පැවසී ය.

වසර තුනක සිට අතපසු ව පැවති අධ්‍යාපන පරිපාලන සේවා 111 ශ්‍රේණියේ කුසලතා මත පත්වීම් ලබා දීමේ කටයුතු සියල්ල මේ වන විට සූදානම් කර ඇති බවත් පාසල්වල නැවතී තිබූ සියලු පාසල් ක්‍රීඩා වාර්ෂික ව නැවත පවත්වන බවත් අතපසු ව පැවති ක්‍රීඩා සියල්ල පවත්වා අවසන් කර විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් ද යථා තත්වයට ගෙන ආ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළේ ය.

සිසුන්ගේ සතිමත්බව සංවර්ධනය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක සතිපාසල් වැඩසටහන ද කිසි දු භේදයකින් තොර ව සෑම ජන වර්ගයකට ම අයත් පාසල්වල සාර්ථක මට්ටමින් ක්‍රියාත්මක වන අතර ප්‍රාථමික ශ්‍රේණිවල සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ක්‍රියාකාරකම් පාදක ප්‍රායෝගික වැඩසටහන් ද පාසල් තුළ ක්‍රියාවට නංවා ඇති බව අමාත්‍යවරයා පැවසී ය.

තව ද සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිමෙන් පසු පාසලේ දී ම සිසුසිසුවියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දීමේ වැඩසටහන ද මේ වන විට සාර්ථක ව ක්‍රියාවට නංවා ඇති බව ඒ මහතා කී ය.

අධ්‍යාපන පරිපාලන සේවයට වසර තුනක කාලයක් තුළ නිලධාරීන් බඳවාගෙන නොතිබූ අතර මේ වන විට සංවෘත්ත විභාගයේ ප්‍රතිඵල නිකුත් කර ජූනි 30ට පෙර 404ක් පත්වීම් ලබා දීමටත් විවෘත විභාගයට ඉදිරියේ දී පැවැත්වීමටත් කටයුතු යොදා ඇති බව ද පැවසූ සුසිල් ප්‍රේමජයන්ත මහතා ගුරු අධ්‍යාපනඥ සේවයේ පුරප්පාඩු 808ක් පිරවීමට දෙවෙනි සම්මුඛ පරීක්ෂණවල ද අවසන් අදියරට පැමිණ ඇති බව සඳහන් ‍කළේ ය.  

වසර පහක් පමණ නොදී තිබූ විදුහල්පති පත්වීම් 4672ක් ලබා දුන් බවත් වැඩබලන විදුහල්පතිවරුන් 1800ක් ස්ථිර කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව සමග එක් ව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

ගුරු හිඟය පියවීම සඳහා ද පියවර ගනිමින් සිටින අතර ගුරු සහායකයන් 2535 ගැනීම සඳහා ගැසට් නිවේදන නිකුත් කර ඇති බවත් පළාත් මට්ටමින් නව ගුරු පත්වීම් 6000ක් පමණ දීමට නියමිත බවත් හෙතෙම වැඩිදුරටත් පැවසී ය. එසේ ම ජාතික පාසල්වලට ද තව සති දෙකක් තුළ විද්‍යාව, තාක්ෂණවේදය, ගණිතය යන අංශයන්ගෙන් ගුරුවරුන් 2000ක් පමණ සියලු ම ජාතික පාසල්වලට පත්වීම් ලබා දීමට නියමිත බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

‍එසේ ම මීට වසර 10කට පමණ පෙර සිට තුන් ලක්ෂ විසි දහසක් ව පැවති මෙරට වාර්ෂික දරු උපත් සංඛ්‍යාව මේ වන විට ලක්ෂ තුනකට පමණ අඩු වී ඇති බවත් ඒ හේතු කොටගෙන පාසල්වල පළමු වැනි ශ්‍රේණියට ඇතුළත් වීම සඳහා ලැබෙන අයදුම්පත් ප්‍රමාණය අඩු වී ඇති බවත් සඳහන් කළ අමාත්‍යවරයා ඒ අනුව ඉදිරි වසර කිහිපය තුළ මානව සම්පත කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න පිළිබඳ ව ද සොයා බැලිය යුතු ව ඇතැයි ද කී ය. 

ඉදිරියේ දී පළාත් හා කලාප මට්ටමින් ගුරු තුලනයක් කිරීමට අපේක්ෂා කරන බව ද මෙහි දි අමාත්‍යවරයා පැවසී ය. ඒ අනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සඳහා ගුරු ශිෂ්‍ය අනුපාතය ඉතා වැදගත් සාධකයක් වන බව කී අමාත්‍යවරයා ‍ඒ අනුව පළාත් නමයට අදාළ ව ඒකක නමයක් පිහිටුවා කලාප සියය එකසිය විස්සක් දක්වා වැඩි කර පවත්නා කොට්ඨාස මණ්ඩල බවට පත් කර ඒවා 350ක් දක්වා වැඩි කර මේ පාසල් 10,096 ම පර්ෂද 1200කට සංයුක්ත කළ යුතු බවත් හැම පර්ෂදයක ම ප්‍රමුඛ පාසලක් පිහිටුවා ඒ පර්ෂදය තුළ සියලු ම සම්පත් සහිත පාසල් අවම වශයෙන් දෙකක් වත් බිහි කිරීම මගින් සැබෑ නිදහස් අධ්‍යාපනය ප්‍රායෝගික ව ක්‍රියාවට නැංවිය හැකි වනු ඇති බවත්  පවසා සිටියේ ය.

දින පොත
  • මාර් ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 වැඩි විස්තර සඳහා 2024/08/27 වැනිදා විජය පුවත්පත බලන්න මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පූර්ණණ අනුග්‍රහයෙන් විජය ළමා පුවත්පත හා කොළඹ මහජන පුස්තකාලය එක්ව පවත්වන මාර්ටින් වික්‍රමසිංහ අනුස්මරණ යොවුන් හා ළමා නවකතා තරගාවලිය - 2025 හැඳින්වීම අප මහ ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 135වැනි ජන්ම දිනය සමරන්නේ 2025දීය Read more...
  • diary Read more...