රාගම විද්‍යාඥයෝ ඩෙංගු නසන්න සැරසෙති-විශේෂිත ක්ෂුද්‍ර විදිනයකින් මදුරු ගැහැනු සතාට එන්නතක්

2024 දෙසැම්බර් මස 21 ප.ව. 11:17 - {{hitsCtrl.values.hits}}  

(ගයාන් සූරියආරච්චි)
ඩෙංගු වාහක ගැහැනු මදුරුවන්ට නිස්සාරක වොල්බැචියා බැක්ටීරියාව එන්නත් කර ඩෙංගු මෙරටින් තුරන් කිරීමේ ක‍්‍රමවේදයක් කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ විද්‍යාඥයන් පිරිසක් විසින් හදුන්වාදී තිබේ.
වොල්බැචියා බැක්ටීරියාව කෘමි සතුන් තුළ ජීවත්වන අතර මිනිසාට අහිතකර බලපෑම් ඇති නොකරයි. පරිසරයට අහිතකර රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව වොල්බැචියා බැක්ටීරියාව විශේෂිත ක්ෂුද්‍ර විදිනයක් භාවිත කර මදුරු ගැහැනු සතාට එන්නත් කිරීමෙන් එම ගැහැනු මදුරුවාගෙන් බැක්ටීරියා ආසාදිත වඳ සුහුඹුල් පිරිමි මදුරුවන් අභිජනනය වෙයි. එය වැඩිදුරටත් තහවුරු කිරීම පිනිස පිරිමි සහ ගැහැනු මදුරු කීටයන් වෙන්කර විකිරණ ශක්තියෙන් වන්ධීකරණය සිදුකෙරේ. පසුව මිනිසාගේ ලේ උරා නොබොන පිරිමි මදුරුවන් පමණක් පරිසරයට මුදාහැරීම සිදුකරයි.
කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍යපීඨයේ පරපෝෂවේදී අධ්‍යයන හා අණුක වෛද්‍ය විද්‍යා ඒකකයේ මහාචාර්ය විමලධර්ම අභයවික‍්‍රම මහතාගේ ප‍්‍රධානත්වයෙන් පශ්චාත් උපාධි අපේක්‍ෂිකා ආශා විජේගුණවර්ධන මහත්මියගේ උපාධිය වෙනුවෙන් මෙම පර්යේෂණය සිදුකෙරේ. ජාතික පර්යේෂණ සභාවේ වසර 5 ක මෙගා ව්‍යාපෘති යටතේ මෙම ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය සපයයි.
පරිසර හිතකාමී තිරසාර ජෛව පාලන ක‍්‍රමයක් ලෙස මෙය හඳුන්විය හැකිය. මෙම ක‍්‍රමවේදය ලෝකයේ බොහෝ රටවල් අත්හදා බලමින් පවතී. වොල්බැචියා බැක්ටීරියාව පරිසරයට අහිතකර නොවන බැක්ටීරියාවක් වන අතර මොවුන් සමහර කෘමි සතුන් තුළ ජීවත්වේ. මෙම බැක්ටීරියාව විශේෂිත ක‍්‍රමවේදයක් යටතේ ඩෙංගු ගැහැනු මදුරුවාට එන්නත් කරන අතර එම ගැහැනු මදුරුවා සංසේචනයෙන් පසුව බිහිකරන පිරිමි සුහුඹුලන් වඳ භාවයෙන් යුක්තවේ. ඔවුන්ගේ වඳ භාවය වැඩිදුරටත් සනාථ කරගැනීම සඳහා ගැහැනු සහ පිරිමි සුහුඹුලන් වෙන්කර විකිරණ ශක්තිය යොදාගෙන වන්ධීකරණය කරනය කරනු ලැබේ. ඉන්පසුව පිරිමි මදුරුවන් පමණක් පරිසරයට මුදාහැරීම සිදුකරයි. 
එම මුදාහැරි පිරිමි මදුරුවන් පරිසරයේ ජීවත්වන ගැහැනු මදුරුවන් සමඟ සංසේචනය සිදුකළද ගැහැනු මදුරුවන්ට බිත්තර දැමීමට හැකියාවක් නොමැත. සංසේචනයවීමෙන් පසුව එම ගැහැනු මදුරුවන්ටද වොල්බැචියා බැක්ටීරියාව ආසාදනය වෙයි. එවිට පරිසරයේ ජීවත්වන වොල්බැචියා බැක්ටීරියාව ආසාදනය නොවූ පිරිමි මදුරුවන්ට ආසාදනයවී ඔවුන්ද වඳ භාවයට පත්වීම සිදුවේ. මේ අයුරින් ඩෙංගු මදුරුවන් විශිෂ්ට ලෙස මර්දනය කර මෙරටින් තුරන් කිරීමේ හැකියාව මේ ක‍්‍රියාවලියෙන් සිදුකිරීමට හැකියාව ඇත. එමගින් ඩෙංගු මර්දනය සඳහා වසරකට රජය දරන විශාල මුදලක් ඉතිරිකර ගැනීමටද හැකිවේ. ඊට අමතරව මෙම පර්යේෂණ කණ්ඩායම විසින් ජීව විද්‍යාත්මක කෘමි නාශක භාවිතය, මදුරු ජාන සංයුතිය වෙනස් කිරීම, රෝග ව්‍යාප්තිය භූගෝලීය වශයෙන් හඳුනාගැනීම, නව උපාංග සහ නවීන මදුරු දැල් සහ විකර්ශක වැනි ක‍්‍රමවේද යොදාගැනීම සඳහා පර්යේෂණ සිදුකරමින් පවතී.
කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රනිල් දසනායක, හන්තාන මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය එම්.සී.එම්. ඉක්බාල්, හෝමාගම ස්ලින්ටෙක් ආයතනයේ වේරන්ජ කරුණාරත්න, ආචාර්ය හරීන් විජේරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ මහචාර්ය එන්.වී. චන්ද්‍රසේකරන්, රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය නිල්මිණි ගුණවර්ධන, මහාචාර්ය නිල්මිණී චන්ද්‍රසේකර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය නයන ගුණතිලක, උප ප‍්‍රධාන පරීක්‍ෂිකා ආචාර්ය මේනකා හපුගොඩ,  මැලේරියා මර්දන ව්‍යාපාරයේ ආචාර්ය ජීවනී හරිස්චන්ද්‍ර, ආචාර්ය කුසුමාවතී පහළගෙදර, කාර්මික තාක්‍ෂණික ආයතනයේ ආචාර්ය මහේෂි අතපත්තු සහ ආචාර්ය ලක්මාල් ජයරත්න යන මහත්ම මහත්මීහු මෙම කර්තව්‍ය සඳහා සහයෝගය දක්වති.
මොකක්ද මේ ක්ෂූද්‍ර විදිනය
ක්ෂුද්‍ර විදිනය ලෙස අදහස් කරනුයේ වීදුරු ක්ෂුද්‍ර නළ භාවිතයෙන් අන්වීක්‍ෂිය හෝ මහේක්ෂීය මට්ටමකදී දියරයක් එන්නත් කිරීමයි. මෙම ඉලක්කය බොහෝ විට ෙසෙලීය හෝ අන්තර් ෙසෙලීය අවකාශ ද ඇතුළත්විය හැකිය. මෙහදී 40-50 ං විශාලන බලය සහිත ද්වී නෙත් අන්වීක්‍ෂය හෝ ටයිකුරු අන්වීක්‍ෂයක් මගින් ද්‍රාවණයක් විදීම සිදුකරනු ලබන අතර  සාමාන්‍යයෙන් 200 ං  පමණ විශාලන බලයක් සමඟ උඩු යටිකුරු අක්වීක්‍ෂ යොදා කරන සරල යාන්ත‍්‍රික පද්ධතියක් ලෙස හැදින්විය හැකිය.
ක්ෂූද්‍ර විදිනයේ ඉතිහාසය
ජීව විද්‍යාත්ම මෙවලමක් ලෙස මයික්‍රෝ ඉන්ජෙක්ෂන් භාවිතය විසිවන සියවසේ මුල භාගයේදී ආරම්භ විය. එහෙත් 1970 වන තෙක් එය පොදුවේ භාවිත වුයේ නැත. 1970 න් පසුව එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබිණි. දැනට පොදුවේ රය රසායනාගාර තාක්ෂණය, ආශයිකා විලේනය, වයිරස සම්පේ‍්‍රෂණය, ජාන සම්පේ‍්‍රෂණය, බැක්ටීරියා වර්ග සම්පේ‍්‍රෂණය සහ කුඩා අවකාශයකට ක්ෂුද්‍ර දියර ප‍්‍රවාහකයක් හඳුන්වාදීම වැනි ක‍්‍රියාවලීන් සඳහා යොදාගනු ලබයි.
ක්ෂූද්‍ර විදිනයේ භාවිතය
කෘමීන්ගේ අද්විතීය භෞතික හා වර්ධන ලක්‍ෂණ වෙනස් කිරීම සඳහා මෙය යොදාගනී. බැක්ටීරියා හඳුන්වාදීම විශේෂයෙන් සිදුකරන අතර දැනට බොල්බැචියා නම් සහජීවි බැක්ටීරියාව ඊඞීස් (ඩෙංගු වාහක* මදුරුවන්ගේ ෙසෙල තුළට එන්නත් කිරීම සිදුකරයි. මෙම බැක්ටීරියා විශේෂය මගින් මදුරුවන්ගේ ආයුකාලය, ප‍්‍රජනන හැකියාව දුර්වල කරන අතර ඩෙංගු හා චිකුන්ගුන්යා වැනි වයිරස සඳහා ආරක්‍ෂාවක් ලාබදීම සිදුකරයි. මෙම ක‍්‍රමය මගින් නිපදවනු ලැබූ මදුරුවන් දැනට වියට්නාමයේ මුදාහැරීම සිදුකරනු ලබයි.
කෘමීන්ගේ ජාන හැසිරවීම
මයික්‍රෝ ඉන්ජෙක්ෂන් පද්ධතිය මගින් කෘමීන්ගේ බිත්තර තුළට ජානයක් ඇතුළත් කිරීම මෙහිදී සිදුකරනු ලබයි. මෙම ජාන බොහෝ විට කෘමියා තුළ වයිරස් ප‍්‍රතිරෝධී සඳහා පළිබෝධ මර්දන කටයුතු සඳහා වැදගත් වන අතර දැනට සිදුකරන ලද පර්යේෂණවලදී ජාන සුසංහිත කරන ලද මදුරු විශේෂයක් බ‍්‍රසීලයේ රියෝ ද ජැනයිරෝ නුවර මුදාහරිනු ලබන අතර එමගින් විශාල ලෙස ඩෙංගු වයිරසය පැතිරීයාම වළක්වා ගෙන ඇත.

IMG_6668 Micro injector vlcsnap-2016-08-30-14h31m42s610

 

 

Prof Abeyawickrema

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...