ලොවපුරා හින්දු බැතිමතුන් අද මහා ශිව රාත‍්‍රි දිනය සමරනු ලබයි.

2025 ජනවාරි මස 11 පෙ.ව. 07:24 - {{hitsCtrl.values.hits}}  

ආදී කල්පික නිර්මාණය හා විශ්ව ආරක්‍ෂණය සමරන ශිව දෙවියන්ගේ තාණ්ඩව හෙවත් විශ්ව නර්තනය දැක්වීම අද වැනි දිනක සිදුවු බව හින්දු විශ්වාසයයි. ශ්‍රී ලාංකික මෙන් ම ලොව වෙසෙන හින්දු බැතිමතුන් අද රාත්‍රීයේ සිට හෙට උදෑසන දක්වා ශීව දෙවියන්ට පූජෝපහාර දක්වමින් මහා ශීව රාත්‍රී දිනය සමරයි.

 

මහා ශිව රාත්‍රී දින පණිවුඩය - සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා! 

අදට යෙදී තිබෙන මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. ''මිනිසා තුළ නිධන්ගතව ඇති මමත්වය හා අහංකාරය දුරු කිරීමට ඉවහල්වන ''ප්‍රඥා ලෝකය පැතිරේවා'' යන  ප්‍රාර්ථනයෙන් යුක්තව සමස්ත ලෝකවාසි හින්දු බැතිමතුන් මහත් බැතියෙන් යුක්තව උපවස ශීලය සමාදම් වන්නා  වූ මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් මෙම සුබපැතුම යොමු කරනුයේ සමස්ත ලෝකයට ම ශාන්තිය උදා වේවා යන  ප්‍රාර්ථනයද සමගිනි.

පංචේන්ද්‍රියන්ට නතුව සිත අයලේ යා නොදී, නිශ්චිත අරමුණක පිහිටුවා ගනිමින් දේව බැතියෙන් යුතුව ශිව  භක්තිකයන් විසින් පිළිගනු ලබන උපවාස අතර මහාශිව රාත්‍රී උපවාසය සුවිශේෂී තැනක් හිමිකර ගනී. මෙදින  නොනිදා රැය පහන් කරමින් එම කාලය තුළ ශිව දෙවියන් උදෙසා පුද පූජා පැවැත්වීමෙන් දැන හෝ නොදැන  තමන් විසින් සිදු කෙරුණා වූ පාපයන්ට සමාව ලැබී දුක්ඛ දෝමනස්සයන් දුරස් වී සිතට ශාන්තියත් නිරත  කාර්යන්හි ජයග්‍රහනයත්,අවසානයේ මෝක්ෂයත් අත්කර ගැනීමට හේතුවන බව ශිව බැතිමතුන්ගේ විශ්වාසයයි.

එසේම මෙම ශිව රාත්‍රී වත්පිළිවෙත් සමඟ මිනිසා තුළ ඇති මමත්වයත්,අහංකාරයත් නැති වී එයින් ස්වකීය ජීවිතය  සුඛිත මුදිත කරගැනීමට අවස්ථාව සැලසෙන බව ශිව බැතිමතුන්ගේ පිළිගැනීම වී තිබේ. ඒ අනුව මහාශිව රාත්‍රී උපවාසය මිනිස් සිත් සතන් හි හටගන්නා නපුරු සිතුවිලි නැමැති අඳුර දුරලා,ප්‍රඥාව නැමැති  ආලෝකය දල්වාලයි.ඒ අනුව එය මිනිස් වර්ගයා අතර සංහිඳියාව සහ සහජීවනය ඇතිවීමට ද මං පාදයි. මානව සංහතිය යහමඟ යවන්නටත් ආගමික විශ්වාසයන් හා සමාජ යහපැවැත්ම වඩ වඩාත් මිනිස් සමාජය තුළ  තහවුරු කරන්නටත් හේතුවන මහාශිව රාත්‍රී දිනය සමරන ශිව භක්තිකයන් සියලු දෙනාට මාගේ හෘදයාංගම  සුබපැතුම් පිරිනමමි.''

මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපති
2018 පෙබරවාරි මස 13 වන දින

 

මහා ශිව රාත්‍රී දින පණිවුඩය - සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවා!

මහාශිව රාත්‍රී දිනය වෙනුවෙන් අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පණිවුඩයක් නිකුත් කර තිබේ. ''ලොව පුරා හින්දු භක්තික ජනතාව අවසානයක් හා ආරම්භයක් නොමැති කරුණාවන්ත වූ ශිව දෙවියන් වෙනුවෙන් පුද පිළිවෙත් ඉටුකරමින් මහත් හරසරින් මහා ශිව රාත්‍රී දිනය සමරන අතර, මෙය ශිව දෙවියන් අතිශය ප්‍රිය කරන රාත්‍රිය ලෙස සැලකේ. මෝහාන්ධකාරය දුරු වී ප්‍ර ඥාලෝකය දැල්වේවායි ප්‍රාර්ථනයෙන් මේ රැය පුරා හින්දු බැතිමත්හු උපවාසයේ යෙදෙමින් පුණ්‍ය ක්‍රියා ඉටුකරති. ශිව රාත්‍රිය අර්ථවත්ව ගතකිරීමෙන් අධ්‍යාත්මික විමුක්තිය උදාවන බව ඔවුන්ගේ විශ්වාසයයි. ශිව දෙවියන්ගේ නර්තනය සිදු වූ රාත්‍රිය ද වන මහා ශිව රාත්‍රී දිනය සුවිශේෂ සංස්කෘතික අංගවලින්ද සමන්විත ය.

සියලූ සත්ත්වයින්ට ආදරය, කරුණාව දක්වමින් එමගින් දෙවියන් දකින උසස් හින්දු සම්ප්‍රදායකින් යුත් ශ්‍රී ලාංකික හින්දු ජනතාවද ශ්‍රී ලංකාවේ වෙසෙන අනෙකුත් ජාතීන් සමඟ එක්සත්ව හා මිත්‍රත්වයෙන් ජීවත් වීමේ දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියති. වාර්ගික, ආගමික භේදවලින් තොරව එකිනෙකාගේ සංස්කෘතික, ආගමික විවිධත්වය අගයමින් එකමුතුව දිවි ගෙවන්නට මහා ශිව රාත්‍රී දිනය අප ජීවිතවලටද ආලෝකයේ මාවතක් කරගනිමු.

මහා ශිව රාත්‍රී උත්සවය සමරන සමස්ත හින්දු ජනතාවට සෞභාග්‍යමත් අනාගතයක් වෙනුවෙන් වූ තමන්ගේ අපේක්ෂාවන් ඉටුවේවායි මාගේ හදපිරි සුබ පැතුම් පිරිනමන අතර අර්ථපූර්ණ, ප්‍රීතිමත් ශිව රාත්‍රි දිනයක් වේවායි ප්‍රාර්ථනා කරමි.

රනිල් වික්‍රමසිංහ
අග්‍රාමාත්‍ය

-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

ලංකාදීප ඇසුරින්
සෑම වර්ෂයක් පාසාම නවම් මාසයේ අමාවක දිනයේ දී මහා ශිවරාත‍්‍රිය එළැඹෙන බව අපි දනිමු. මහා ශිව රාත‍්‍රිය හින්දු ලෝකය කෙසේ පහළ වූවාදැයි බැලීම යුක්ති යුක්තය. මන්ද පාර්වතී දේවිය රාත‍්‍රී නවයකට ප‍්‍රියකරන බව පුරාණ ග‍්‍රන්ථ පෙන්වා දෙයි. නමුත් ශිව දෙවියන් ප‍්‍රිය කරන්නේ ශිව රාත‍්‍රිය පමණය. මෙසේ ශිව රාත‍්‍රිය ඇති වූ ආකාරය ගැන කන්ද පුරාණයේත් ශිව පුරාණයෙත් නොයෙක් දේව කතා ආශ‍්‍රයෙන් පැහැදිලි කර දී ඇත.
හින්දු දේව කතා
උමා දේවියගේ සෙල්ලම
එක්තරා කාලයක පාර්වතී දේවිය (උමා දේවිය) සෙල්ලමට ශිව දෙවියන්ගේ ඇස් දෙකම තම දෑත්වලින් වැසුවාය. එම නිසාවෙන් ලොව පුරාම ඝන අන්ධකාරයෙන් වැසී ගියේය. එම නිසා සියලූම ජීවින් පීඩාවට පත්විය. එවිට දේවතාවන් ප‍්‍රධානත්වයෙන් එකොළොස් කෝටියක දේවතාවෝ ශිව දෙවියන්ට පුදපූජා පැවැත්වූවෝය. එම සිදුවීම සිහිගන්වනු පිණිස ශිව රාති‍්‍රය උත්සවාකාරයෙන් හින්වෝ සමරන්නෝය. තවද හින්දු පුරාණයේ තවත් කතා පුවතක් මෙසේ ගෙන හැර පාන්නේය.

ශිව දෙවියන්ට විෂ පෙවීම
එක්තරා සමයක ශිව දෙවියෝ කිරි මුහුදේ මතු වූ විෂ බීම නිසා සිහිසුන් වූ සෙයක් විද්‍යමාන කරමින් තෙළෙස්වක දිනවල සන්ධ්‍යාවේදී ”සන්ධ්‍යා” නමැති නැටුම නැටූහ. ඒ හා සමග බැඳුනු දුස්වක තිථි රැයේ හතරයාමයේම, දෙවියෝ ශිව දෙවියන්ට පූජා පවත්වා ස්තෝත‍්‍ර ගායනා කළෝය. එම දිනය ශිව රාති‍්‍රය බව හින්දුන් විශ්වාස කරති. මෙම උත්සවය ආදි කාලයේ සිට උත්සවාකාරයෙන් සමරති. හින්දුන් මෙදින සතරයාමයේම ශිව දෙවියන්ට නිදිවර්ජිතව පුද පූජා පවත්වත
පාර්වතී දේවිය ඇතිකරන ලද ශිව රාති‍්‍රය
එක්තරා කාලයක ලෝකය විනාශ වී ගියේය. සෑම දෙයක්ම ශිව දේවියන්ගේ යටතට පත්විය.
ඝන අන්ධකාරයෙන් වට වූ ඒ රාති‍්‍රයේ පාර්වතී දේවිය ශිව දෙවියන්ට පුද පූජා පවත්වා යාඥා පැවැත්වූ බව අහමහෙල පුරාණ කෘතිය සඳහන් කරයි. එම කෘතියේ සඳහන් වන ආකාරයට පාර්වතී දේවිය කාල හතරක්ම යාඥා කළාය. එම සිදුවීම සිහිගන්වනු වස් ශිව රාති‍්‍රය සැමරේ. එම රාති‍්‍රයේ අඳුර මැදින්ම පාර්වතී දේවිය ශිව දෙවියන් කරා ගොස් මෙසේ ඇයද සිටියාය. ”දේවයන් වහන්ස මේ රාත‍්‍රියේදී ඔබවහන්සේට පුද පූජා පවත්වා මා යාඥා කළේ කෙසේද? ඒ අයුරින් ශිව රාත‍්‍රියේදී යාඥා කරන බැතිමතුන්ට මේ භවයේදී ඉසුරත් මතු භවයේදී දිව්‍යලෝකයත් අවසානයේදී මෝක්ෂයත් ලබාදෙනු මැනවි. ශිව දෙවියෝද ඒ අයුරින්ම ඇය විසින් අයැද සිටි වරයට අනුකම්පා කළහ. එදින සිට ශිව රාත‍්‍රිය මහා උත්සවාකාරයෙන් හින්දුහු සමරති.
ශිව රාත‍්‍රිය ගත කළ යුතු ආකාරය
ශිව රාත‍්‍රි දිනයේදී හිමිදිරියේම අවදි විය යුතුය. සිතේ සතුට ඇති කර ගෙන තම නිවැසියන් සහ අසල්වැසියන් සමග මෙම රැය ඉතා යහපත්ම ගත කිරීමටත් ධ්‍යාන උපවදවා ගැනීම සඳහා උපවාස කිරීමට සියල්ලන්ම පොලඹවා ගත යුතුය.

පුණ්‍ය කාලයේදී ජලස්නානය කර දෛනික සියලූ කටයුතු සියල්ලක්ම නිම කර ගැනීමෙන් අනතුරුව උපවාසය ඇරඹිය යුතුය. පුණ්‍ය කාලය අයත් වන්නේ ශිව දෙවියන්ට බව පුරාණ ග‍්‍රන්ථ සඳහන් කරයි. එම නිසා මෙම පුණ්‍ය කාලයේදී ශිව දෙවියන් ගැනම සිතා භාවනා කළ යුතුය. ශිව දේව පූජා සිදු කරන අය ශිව දේවාලවලට ගොස් ඒවා කළ යුතුය.

ශිව දෙවියන් උදෙසා ශිව මන්ත‍්‍ර ගායනා කළ යුතුය. ඉන් පසු ශිව පූජාව සඳහා පූජා භාණ්ඩ සකස් කර ශිව ලිංගය කිරිවලින් නැහැවිය යුතුය. මෙම පූජාව කරන අතරතුරේදී ශිව දෙවියන්ගෙන් තමාට කරුණාව දැක්විය යුතු බව ඉල්ලීමක් කළ යුතුය. ශිව මහා පුරාණයත්, ලිංග පුරාණයත්, කන්ද පුරාණයත් පෙන්වා දෙන ආකාරයට උපවාස අටක් ගැන කියැවේ. මේ අනුව ශිව රාත‍්‍රිය කොටස් තුනකට බෙදා ඇත. එනම් උත්තම ශිව රාත‍්‍රිය, මත්තම ශිව රාත‍්‍රිය, අදම ශිව රාත‍්‍රිය වශයෙනි.

ශිව රාත‍්‍රි තුනේදීම බැතිමතුන් උපවාසය අඛණ්ඩව කළ යුතුය. කෙසේ නමුත් හින්දු මූලධර්මවලට අනුව භාවනාව කළ යුතුය. මෙසේ භාවනා කරන අවස්ථාවේදී ශිව දෙවියන් සිහි කර ගැනීමෙන් මහත් ඵල මහත් ආනිසංස ලැබෙන බව පුරාණ ග‍්‍රන්ථ සඳහන් කරයි.
මීට අමතරව සියලූම හින්දු බැතිමත්හු ශිව රාත‍්‍රි දිනයේදී ශිව දේවාලවල නිදිවර්ජිතව නොයෙක් සංස්කෘතික වැඩසටහන්වල ද නියැලෙති. මෙම සංස්කෘතික වැඩසටහන් පැවැත්වන්නේද ශිව දෙවියන්ගේ රංගනයට අනුකූලවය. මෙම සංස්කෘතිකාංග ගැන ”ශිවානන්දලහිරි” කෘතියත් ”සාහිත්‍ය රත්නකාරය” නැමති කෘතියත් පෙන්වා දෙයි.

මෙම නර්තන අංගවලින් ප‍්‍රධාන එකක් ලෙස ගණන් ගන්නේ ”නඩරාජන්” නර්තනයයි. ”නඩරාජන්” නර්තනාංගය ”සාහිත්‍ය රත්නකාරය” විස්තර කරන්නේ මෙසේය.

”ග‍්‍රීස්ම සෘතුව නිමා වී වස්සාන සෘතුව එළැඹෙන සමයේ ගගන කුස කළු පැහැගැන්වී මේ කුළු එක්තැන් වෙන මොහොතේ විදුලි කොටා අකුණු සැර වැදෙන ස්වරූපයක් ගෙන දෙන්නේය. එවිට සිහින් පොද වැස්සක්ද වැටුණේය. මේ ස්වභාවික සෞන්දර්ය උද්වීපනය කරන අවස්ථාවේ මොණරා සෙබඩට ප‍්‍රථම ”විදහම් සිකිපිල්” යනුවෙන් තනි පාදයකින් සිට රැඟුම් පා ආනන්දයක් ඇති කරගත්තේය”
මෙම ස්වරූපය සිහිගන්වමින් නඩරාජන් නර්තනාංගය ”සිවානන්ද ලහිරි” කෘතියත් ගෙනහැර දක්වයි. හින්දු සංස්කෘතියත් හින්දු දර්ශනයත් හින්දු කලාවත් එකට බද්ධ වූ අවස්ථාවක් හැටියට ”නඩරාජන්” නර්තනය පෙන්වා දිය හැකිය. එම නිසා හින්දු සංස්කෘතික අංග සවිමත් වීමට වැදගත් වන්නේ මහා සිව රාත‍්‍රි දර්ශනයයි. මේ අනුව බලන විට මහා ශිව රාත‍්‍රී දර්ශනයෙන් හින්දු සංස්කෘතිය පෝෂණය වෙයි.

මෙපමණක් නොව මෙම නර්තනාංගයට පාර්වතී දේවියද එක්වන්නීය. මේ නිසා නර්තනය තව තව අලංකාර වේ. හින්දු කලාව පෝෂණය වී ඇත්තේ ශිව පාර්වතී රංගනයෙනි. මෙම රැයෙහි උපවාස කිරීමෙන් මරණයෙන් පසු දිව්‍ය සම්පත් ලබා දීමත්, වත්මන් ජීවිතයට ආරක්ෂාවත්, දියුණුවත්, සතුටත් ලබාදෙන බව හින්දුහු විශ්වාස කරති.

ශිව රාත‍්‍රි දිනය අර්ථවත් ලෙස කිරීම මගින් අවසානයේදී මුක්තිය ලැබෙන බව හින්දුහු විශ්වස කරති. ඒ බව හින්දු ග‍්‍රන්ථ බොහෝමයක් සනාථ කරයි. එසේ නම් හින්දු දර්ශනයට අනුව මුක්තිය (මෝක්ෂය) ලැබීමට සිව රාත‍්‍රිය අර්ථාන්විතව ගත කළ යුතුය.

 

ලංකා බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරු 
ශාස්ත‍්‍රපති දෙමළ පණ්ඩිත් 
පන්මොළිවිත්තහර් මඩුළුගිරියේ විජේරත්න

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...